Wednesday, March 26, 2014

3G ජංගම දුරකථන සේවා (3G UMTS)

3G UMTS (3rd Generation Universal Mobile Telecommunication System) යනුවෙන් දැක්වෙන්නේ 3වන පරපුරේ ජංගම දුරකථන සේවා පද්ධතියයි. එය කෙටියෙන් 3G ජංගම දුරකථන පද්ධති යනුවෙන් භාවිතාවේ. GSM වැනි දෙවන පරපුරේ ජංගම දුරකථන පද්ධතිවලට වඩා වැඩි දුර ඇමතුම් ධාරිතාවයක් හා වැඩි දත්ත සන්නිවේදන වේගයන් 3G ජංගම දුරකථන පද්ධති තුලින් ලබාගත හැක. බහු මාධ්‍ය පණිවිඩ සේවා (MMS -Multimedia Messaging Services), වීඩියෝ රූප සහිත දුර ඇමතුම් ආදී විශේෂිත පහසුකම් 3G ජංගම දුරකථන ජාල වල ලබා ගත හැක.
3G UMTS මගින් 384kbps දක්වා දත්ත සන්නිවේදන වේගයන් (HSPA පහසුකම නොමැතිව) ලබාගත හැක. HSPA යනු 3G ජංගම දුරකථන ජාලවල වැඩි දත්ත සන්නිවේදන වේගයන් ලබාගැනීම සඳහා එක් කළ වර්ධිත සේවාවකි.



3G ජංගම දුරකථන
3G ජංගම දුරකථන සේවා භාවිතා කිරීමට 3G පහසුකම සහිත ජංගම දුරකථනයක් අවශ්‍ය වේ. සියළුම 3G ජංගම දුරකථන ජංගම දුරකථන වල 3G හා GSM පහසුකම් දෙකම අන්තර්ගත වේ. 3G ජංගම දුරකථන ජාල, මුලදී 2G (GSM) ජංගම දුරකථන ජාල ආවරණය වන ප්‍රදේශ තුලදී ම ගොඩනගනු ලැබේ. 3G සංඥා ආවරණය නොමැති ප්‍රදේශ වලදී 3G ජංගම දුරකථනයක් GSM තාක්‍ෂණයට මාරුවී GSM ජාලය හරහා සම්බන්ධතාවය ඇති කර ගනී.




USIM
3G ජංගම දුරකථනවල භාවිතාවන SIM කාඩ් පත USIM (Universal Subscriber Identity Module) නමින් හැඳින්වේ. බොහෝ USIM කාඩ් පත් GSM ජංගම දුරකථනවල ද භාවිතා කළ හැකි අතර එවන් අවස්ථාවල 3G දුරකථන ජාලය භාවිතා නොවී GSM දුරකථන ජාලය භාවිතයෙන් එම දුරකථනය සම්බන්ධතාවය ඇති කරගනී.

WCDMA
3G UMTS දුරකථන ජාලවල රේඩියෝ තරංග සම්ප්‍රේෂණ තාක්‍ෂණය WCDMA (Wideband Code Division Multiple Access) නමින් හැඳින්වේ. මෙහිදී රේඩියෝ තරංග මූර්ජනයට CDMA තාක්‍ෂණය යොදා ගැනේ. 3G ජංගම දුරකථන ජාලයක රේඩියෝ තරංග චැනලයක් 5MHz තරංග කලාප පළලකින් යුක්ත වන අතර ඒ තුල ග්‍රාහකයන් විශාල ගණනකට එකවර සම්බන්ධතාවය පවත්වාගත හැක.



3G රේඩියෝ තරංග සංඛ්‍යාත
3G ජංගම දුරකථන ජාල වැඩි වශයෙන් 2100MHz තරංග මාලාව භාවිතයට ගනී. මෙයට අමතරව ඇමරිකාව හා ඕස්ට්‍රේලියාව වැනි රටවල 850MHz තරංග මාලාවද භාවිතා වේ. GSM දුරකථන ජාල සඳහා භාවිතා වන 900MHz තරංග මාලාවද දැන් රටවල් ගනනාවක 3G දුරකථන ජාලවල භාවිතයට එක් කර ඇත. 3G දුරකථන ජාලවල (2100MHz තරංගමාලාව භාවිතයේදී)  උඩු හා යටි සබඳිතාවයන් (uplink & downlink) සඳහා 190 MHz පරතරයකින් යුත් 5MHz පළල රේඩියෝ චැනල යුගලක් භාවිතා කෙරේ.

3G ජංගම දුරකථන ජාල මුලදී 2G දුරකථන ජාල මගින් සංඥා ආවරණය වන ප්‍රදේශ වල ගොඩනැගී පසුව 3G ජාල මගින් ආවරණය වන ප්‍රදේශ වැඩිවශයෙන් ව්‍යාප්ත වත්ම අනාගතයේ එමගින් 2G දුරකථන ජාල ප්‍රතිස්ථාපනය කෙරෙනු ඇත.

                                                                                   - කුසල් ඈපා


No comments:

Post a Comment