Tuesday, May 27, 2014

LTE

LTE (Long Term Evolution) යනුවෙන් හැඳින්වෙන්නේ, 3G UMTS (Universal Mobile Telecommunication System) ජංගම දුරකථන පද්ධති වලට පසුව වර්ධනය කළ නව ජංගම දුරකථන පද්ධතියකි. LTE මගින්, ජංගම දුරකථන පහසුකම් වලට අමතරව 3G පද්ධතිවලට වඩා කීප ගුණයකින් වැඩි වේග ප්‍රමාණවලින් දත්ත සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත.


LTE දුරකථන ජාලයන් සඳහා සර්කිට් ස්විචින්ග් (circuit switching) ක්‍රමයෙන් තොරව පැකට් ස්විචින්ග් (packet switching) ක්‍රමය පමණක් භාවිතා වේ. මෙහිදී සියළු සන්නිවේදනයන් සඳහා IP (Internet Protocol) නම් ක්‍රියාපිළිවෙල භාවිතා වේ. දුරකථන සංවාද (voice calls) VOIP  තාක්‍ෂණය භාවිතයෙන් IP පැකට් බවට පරිවර්තනය කිරීමෙන් පසු සම්ප්‍රේෂණය කිරීම මෙහි විශේෂත්වයකි.
LTE සන්නිවේදන ජාල වල MIMO (Multi Input Multi Output) ඇන්ටෙනා තාක්‍ෂණය භාවිතා වේ. MIMO තාක්‍ෂණයේදී සම්ප්‍රේෂණ මධ්‍යස්ථාන කුළුනක වැඩි සම්ප්‍රේෂණ (transmit) ඇන්ටෙනා හා ග්‍රාහක (receive) ඇන්ටෙනා ගණනක් හාවිතා වේ. ජංගම දුරකථනයක ද එක් සම්ප්‍රේෂණ ඇනටෙනාවක් හා ග්‍රාහක ඇනටෙනා එකක් හෝ දෙකක් භාවිතා කළ හැක.
LTE පද්ධතියක උපරිම දත්ත සන්නිවේදන වේගයන් වශයෙන් 326 Mbps (download) සහ 86 Mbps (Upload) ලබාගැනීමට බලාපොරොත්තුවේ. මෙතරම් උපරිම වේගයන් ලබාගැනීමට 20MHz ක තරංග කලාප පළලක් (bandwidth) හා 4X4 වර්ගයේ ඇන්ටෙනා පද්ධතියක් අවශ්‍ය වේ. 4X4 යනුවෙන් දැක්වෙන්නේ සම්ප්‍රේෂක (transmit)  ඇන්ටෙනා 4ක් හා ග්‍රාහක (receive) ඇන්ටෙනා 4ක් භාවිතා කිරීමය.
LTE සම්ප්‍රේෂක කුළුනක සංඥා දළ වශයෙන් 5km දුරක් දක්වා ප්‍රදේශයක් ආවරණය කළ හැකි අතර තරමක් අඩු සේවා පහසුකම් සහිත ව 30km දුරක ද, සුළු සේවා පහසුකම් සහිතව 100km  දුරකද ප්‍රදේශයක් ආවරණය කිරීමේ හැකියාව ඇත.


LTE හා 3G UMTS ජාලයන් අතර ප්‍රධාන වෙනස LTE ජාලයක විවිධ තරංග සංඛ්‍යාත (frequency) හා 1.5 – 20 MHz දක්වා විවිධ තරංග කලාප පළල (bandwidth) භාවිතා කිරීමේ හැකියාවයි. LTE වලදී FDD හා TDD ක්‍රම දෙකම භාවිතා කළ හැක. FDD (Frequency Division Duplex) ක්‍රමයේදී උඩුසබැඳිතාව (uplink) හා යටිසබැඳිතාව (downlink) සඳහා සංඛ්‍යාත දෙකකින් යුත් තරංගමාලා යුගලයක් භාවිතාවන අතර TDD (Time Division Duplex) ක්‍රමයේදී එක් තරංග සංඛ්‍යාතයක කාල විවර (timeslot) දෙකක් ඒ සඳහා භාවිතා වේ.
එක් එක් රටවල LTE ජංගම දුරකථන සඳහා දැනට 700, 800, 850, 1700, 1800, 1900, 2100, 2300, 2600 MHz ආදී තරංග මාලාවන් ජංගම දුරකථන සමාගම් භාවිතයට ගෙන ඇත. ශ්‍රී ලංකාවේ ඩයලොග් හා මොබිටෙල් සමාගම් 1800 MHz තරංග මාලාවේ LTE ජංගම දුරකථන සේවාවන් අරඹා ඇත. මෙයට අමතරව ඩයලොග් සමාගම 2300 MHz තරංග මාලාවේ, LTE රැහැන් රහිත ස්ථාපිත (fixed wireless) දුරකථන සේවාවක් ද ක්‍රියාත්මක කර ඇත.

LTE පද්ධතියක රේඩියෝ තරංග මූර්ජනයට (RF Modulation), OFDM (Orthogonal Frequency Division Multiplexing) ක්‍රමය යටිසබැඳිතාව (downlink)  සඳහා ද, SC-OFDM (Single Carrier – OFDM) ක්‍රමය උඩුසබැඳිතාව (uplink) සඳහා ද හාවිතා වේ. SC-OFDM ක්‍රමය අඩු විදුලි බලයක් පරිභෝජනය කරන නිසා ජංගම දුරකථනයක බැටරියක ආරෝපන (charge) කාලය රැක ගැනීමට උඩුසබැඳිතාව (uplink) සඳහා SC-OFDM ක්‍රමය භාවිතා වේ.
LTE පද්ධතියක දත්ත මූර්ජනයට (Data Modulation), QPSK, 16QAM, 64QAM ක්‍රම භාවිතා වේ. LTE ජාලයන් 3.9G තාක්‍ෂණයක් වශයෙන් දැක්විය හැක. එයට හේතුව 4G තාක්‍ෂණයක අවශ්‍යතා සපුරාලීමට LTE  ක්‍රමයේ මදක් අඩුපාඩු තිබීමයි. නමුත් බොහෝ ජංගම දුරකථන සමාගම් තම වෙළඳ ප්‍රචාරක කටයුතු වලදී LTE, 4 වන පරපුරේ (4G) තාක්‍ෂණයක් ලෙස හඳුන්වති.



LTE Advanced

LTE Advanced ක්‍රමය LTE ක්‍රමය තවත් වැඩි දියුණු කිරීමෙන් වර්ධනය කර ඇති අතර එය 4G පද්ධතියක අවශ්‍යතා සපුරනු ඇතැයි බලාපොරොත්තු වේ. LTE දුරකථන ජාලයක් LTE Advanced දුරකථන ජාලයක් බවට පත් කිරීමට මෘදුකාංග උත්ශ්‍රේණි ගතකිරීමෙන් (software upgrade) පමණක් කළ හැකි වෙතැයි විශ්වාස කෙරේ. LTE Advanced ජාලයක 1Gbps (downlink) හා 500Mbps (uplink) දත්ත සන්නිවේදන වේගයන් ලබාගැනීමට හැකි වෙතැයි බලාපොරොත්තු වේ.


                                                                                                © කුසල් ඈපා
                                                                                                


  

No comments:

Post a Comment